• ඇමති ප්‍රසන්නගේ උපදෙස් මත උතුරු පළාතෙන් එය ඇරඹෙයි....
  • දිවයින පුරා පළාත් පාලන ආයතන වෙත එය හදුන්වා දීමටත් සැලසුම්...

මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ගොඩනැගිලි අයදුම්පත්‍ර අනුමත කිරීමේ ක්‍රමවේදය පළාත් පාලන ආයතන වෙත හදුන්වා දීම උතුරු පළාතෙන් ඇරඹේ. 

පළමු අදියර යටතේ උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34 ක් සදහා මෙම ක්‍රමවේදය හදුන්වා දුන් අතර දිවයිනේ සෙසු පළාත් පාලන ආයතන සදහා කඩිනමින් එය හදුන්වා දීමට නියමිතය.

ලෝක නගර සැලසුම් දිනය නිමිත්තෙන් යාපනය, උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේ ඊයේ (13) පැවති උත්සවයකදී මෙම ක්‍රමවේදය හදුන්වා දීම සිදු කෙරිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාවට නැංවේ.

මෙම ක්‍රමවේදය මගින් ගොඩනැගිලි සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබේ.  පළාත් පාලන ආයතන වෙත මෙම (online)  තාක්ෂණය හඳුන්වාදීමේ මූලික අරමුණ වන්නේ ගොඩනැගිලි අයදුම්පත්‍ අනුමත කිරීමට ගතවන කාලය අවම කිරීම හා සරල කිරීම හරහා වැඩි සේවාවක් ලබා දීමයි.

වර්ග අඩි 9000 ට වැඩි ගොඩනැගිලි ඉදිකිරීම සදහා අනුමැතිය ලබා දෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. වර්ග අඩි 9000 ට අඩු නම් ඊට අනුමැතිය ලබා දීම අදාළ පළාත් පාලන ආයතනය විසින් සිදුකරයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ගොඩනැගිලි අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබාදීම මේවන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරයි. එය ආරම්භ කෙරුණේ 2017 වසරේදීය. 

විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ගොඩනැගිලි අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබාදීමෙන් ඉහළ බලධාරීන්ට එය අධීක්ෂණය කිරීමේ ප්‍රවේශය ලබා දීමට හැකිවේ. එමගින්  විනිවිදභාවය වැඩිකිරීම තුළ වංචා දූෂණ අවම කිරීමට හැකිවනු ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

ලෝක නගර සැලසුම් දිනයට සමගාමීව නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් කාර්යාලය විසින් ඡායාරූප තරගාවලියක් සහ  සහ පාපැදි සවාරියක් සංවිධානය කොට තිබු අතර එහි ජයග්‍රාහයකයින්ට සහ සහභාගී වු පාසල් ළමයින්ට සහතික පත්‍ර ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.

උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්. චාල්ස් මහත්මිය Zoom තාක්ෂණය ඔස්සේ මේ සදහා සම්බන්ධ වු අතර උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, උතුරු පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂක ඩි.බි.එස්.කේ. දිසානායක, නියොජ්‍ය අධ්‍යක්ෂිකා කේ. ජීවගන් යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිළධාරීන්, විශ්ව විද්‍යාල සිසුන්, පාසල් දූදරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.