IMG 20240424 WA0089 විවෘත කිරීම ලබන සෙනසුරාදා...
 සම්පූර්ණ ව්‍යාපෘතියෙන් පවුල් 16,480කට සෙත...
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටළුව විසඳීම සඳහා තවත් නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කෙරේ. ඒ අනුව එම ජල පිරිපහදු යන්ත්‍රාගාර 24 අප්‍රේල් මස 06 වැනිදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
වව්නියා දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්යේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 18 ක් මෙලෙස විවෘත කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
උතුරු පළාතේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර ඇත. ඒ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව, වවුනියාව උතුර, වෙන්ගලච්ච්ඩිකුලම්, වව්නියාව දකුණු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පච්චිලෙයිපල්ලි, කරච්චි සහ කඳවලයි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලයි.
“සැමට සුරක්ෂිත පානීය ජලය” ලබාදීමේ රජයේ සංකල්පය යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
2021 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 50ක් ඉදිකිරීමට සැලසුම් කෙරිණ. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 4ක්, කිලිනොච්චි හා වව්නියාව දිස්ත්‍රික්කවල නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 23 බැගින් ස්ථාපිත කළේය. මුළු ව්‍යාපෘති වටිනාකම රුපියල් මිලියන 211කි. මීට පෙර පසුගිය වසර අවසානයේදී එහි පළමු අදියර ලෙස නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 26ක් ජනතා අයිතියට පත් කළේය. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියෙන් පවුල් 16,480කට ප්‍රතිලාභී හිමිවේ.
මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර 2,000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින බවද නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.
නැනෝ තාක්ෂණය මගින් ජලය පිරිපහදු කිරීමේදී ජලයෙහි අඩංගු ඉහළ සංයුජතාවකින් යුත් ලවණ වර්ග හෝ ද්වි සංයුජමය මූලද්‍රව්‍ය ඉවත් කරයි. තවද නැනෝ පිරිපහදු මගින් විෂ ද්‍රව්‍ය, බැර ලෝහ සහ අනෙකුත් කාබනික සංයෝග බැහැර කර ජලයෙහි දුඟද හා රස ඉවත් කරයි